Tuesday, August 9, 2022

කඳ කුමරුන්ගේ ගමන් දෝළාව "වාසනා"

 

     නැඳුන්ගමුවේ රාජාගේ අභාවයෙන් පසුව උතුම් දළදා සමිඳුන් වැඩමවන හස්ති රාජයින් අතර ප්‍රධාන මඟුලැතු වූ කතරගම වාසනා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැළෑ බද ප්‍රදේශයක අතරමං ව සිට සොයාගත් අතර පසුව මෙම ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 වසරේ දී එවකට අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසින් රුහුණු මහා කතරගම දේවාලයට පූජා කොට ඇත. එතැන් පටන් අද දක්වා ම මෙම ඇතා රුහුණු මහා කතරගම දේවාලය භාරයේ සිටියි. ඉතා ආකර්ෂණීය මෙන් ම තේජන්විත පෙනුමකට හිමිකම් කියන වාසනා ඇතාගේ වයස මේ වන විට අවුරුදු 48 කි. උස අඩි 10ක් පමණ වේ.

                      වර්තමානයේ වාසනා ඇතා ගේ පාලකවරයා ලෙස කටයුතු කරන්නේ අජිත් අශෝක ලියනගේ වන අතර දැනට ඔහු වසර විස්සක පමණ කාලයක් ඇතා සමඟ කටයුතු කර තිබේ. ඔහුට පෙර ඔහුගේ පියා ද වාසනා ඇතා රැක බලා ගත් අතර වර්තමානයේ අජිත්ගේ පුතුන් ද වාසනා රැක බලා ගැනීමේ කටයුත්තට දායක වේ.
        මංගල කුලයට අයත් ඇතකු ලෙස සැලකෙන වාසනා, අලිඇතුන්ගේ බුද්ධිමත් බව යන ලක්ෂණයට කදි ම උදාහරණයක් වේ. සාමාන්‍යය සත්ත්වයකුට වඩා පැසුණු බුද්ධියකින් යුතු වාසනා ඇතා පුද්ගලයන් හා පරිසරයේ සිදුවන යම් යම් සිදුවීම් වටහා ගැනීමේ බුද්ධියෙන් යුතු වේ. අලි භාෂාව හැරුණු විට සාමාන්‍ය භාෂා ව්‍යවහාරය ද වාසනා ඇතාට ඉතා හොදින් හුරු වී තිබේ.
              සුදු ඇඳුමින් සැරසුණු පුද්ගලයන්ට වාසනා ඇතා වැඩි ඇල්මක් දක්වන අතර භික්ෂූන් වහන්සේලා ඉදිරියේ දී ඉතා කීකරු ව කටයුතු කරයි. මත්පැන් පානය කළ පුද්ගලයන් තමන් අසලට ළංවීම පිළිබඳ කිසිසේත් ම සතුටු නොවන බැවින් වාසනා ඇතා එවැනි අවස්ථාවල සොඬවැලෙන් ඇන හස්ති පාලකට ඒ බව පෙන්වා දෙයි.
            විශේෂ සිදුවීමක් ලෙස 1989 මෙරට පැවති භීෂණකාරී වාතාවරණය යටතේ කැරලිකරුවන් කතරගම දේවාලයේ පෙරහර නොපවත්වන ලෙස නියෝග කර තිබිණි. එයට එක් හේතුවක් වූයේ එවකට එහි බස්නායක ධූරය දැරෑ තැනැත්තා දේශපාලන ක්‍රියාකාරියකු වීමයි. මෙම තර්ජන හමුවේ වුව ද අනාදිමත් කාලයක පටන් රාජකීය නියෝග මත පවත්වා ගෙන ආ දේවාලයේ මහ පෙරහර නැවැත්වීමට දේවාලයේ භාරකාරීත්වය කැමැති නොවූ බැවින් 1989 වසරේ දී ද සුපුරුදු පරිදි පෙරහැර පැවැත්විණි.එවකට තරුණ වියේ පසු වූ වාසනා ඇතා දේවාභරණ වැඩමවීමේ රාජකාරිය ඉටු කළ අතර නොසිතූ අයුරින් 1989 ජුලි 18 වැනිදා පැවැත් වූ අවසන් මහා පෙරහරට කැරලිකරුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එම ප්‍රහාරයෙන් කතරගම දේවාලයේ ලේකම් පැල්වත්ත අදිකාරම්, ආලත්ති අම්මලා සහ පෙරහර නැරඹීමට පැමිණි පිරිසෙන් නව දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රහාරයෙන් වාසනා ඇතා ද තුවාල ලැබීය.
සිදු වු ව්‍යසනය හමුවේ ඇතාගේ පාලකවරයා ද තුවාල ලබා සිටි බැවින් වාසනා පිළිබඳ ව හෝ දේවාභරණ පිළිබද ව ජනතාවට අවධානයක් නොවූවත් වාසනා තමන්ගේ රාජකාරිය පිළිබඳ වටහා ගෙන සිටි නිසා ඔහු තුවාල සහිත ව ඉතා අපහසුවෙන් කොර ගසමින් වුවත් නැවැතත් දේවාලය කරා පැමිණි දේවාභරණ තැන්පත් කරන මණ්ඩපය වෙත ගොස් ඇත. ඒ වන විට එහි රැදී සිටි ප්‍රධාන කපු මහතා වූ සොමිපාල ටී. රත්නායක ඇතුළු කපුමහතුන් වහා ම දේවාභරණ දේවාලය වෙත වඩමවා ඇත. එතෙක් සියලු අපහසුකම් දරා ගෙන සිටි වාසනා ඇතා ඉන් අනතුරු ව ඇද වැටුණු අතර මාස තුනකට අධික කාලයක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරු ව වාසනා සුවය ලැබී ය. 
               ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කිරීමේ කාර්‍යයයි. දළඳා කරඩුව තැන්පත් කිරීමට ප්‍රථමයෙන් ඇඳුම් ඇඟලෑම සිදු කරන අවස්ථාවේ දී පවා ඇතා ඉතා කීකරු ව කටයුතු කරයි. දළඳා කරඬුව වැඩමවීමේ දී පාවඩ මත අතිශය ප්‍රවේශම් සහගත ව හා තැන්පත් ස්වභාවයකින් පියවර තබයි. වාසනා අවසාන මහා රන්දෝලි පෙරහරේ කරඩුව වැඩමවීම ද වාර ගණනාවක් ඉටු කර ඇති අතර අවසන් වරට 2020 වසරේ දී අවසන් මහා රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීම සිදු කර ඇත.
            මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය දළදා පෙරහැර හා සමකාලීනව යෙදී ඇති බැවින් වාසනා මෙවර මහනුවරට නොපැමිණියත් වත්මන් දළදාව වඩම්මවන හස්ති රාජ පරපුරේ ප්‍රධාන මඟුලැතු වාසනායි.
       උතුම් දළදා සමිඳුන්ට උපහාර පුදන පිනෙන් යලිත් තිරිසන් අත්භවෙක නොඉපද සසර දුකින් අතමිඳී උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා පහළ කෙරෙත්වා!!!

කඳ කුමරුන්ගේ ගමන් දෝළාව "වාසනා"

       නැඳුන්ගමුවේ රාජාගේ අභාවයෙන් පසුව උතුම් දළදා සමිඳුන් වැඩමවන හස්ති රාජයින් අතර ප්‍රධාන මඟුලැතු වූ කතරගම වාසනා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ...